C.V. Wigneswaran

උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම
‘කොටියා’ මල්ලෙන් එළියට

මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක්‌ කළ යුතු බවයි.

මේ ශ්‍රී ලංකා විරෝධී යෝජනාවේ සැලසුම්කරු ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතීයා වූ කේ. ජී. සිවාජිලිංගම්ය. ඔහු මෙයට පෙර පළාත් සභාවට ඉදිරිපත් කළේ මෙයට සමාන සුළු යෝජනාවකි. එහෙත් මෙවර ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වන මෙකී යෝජනාව පිටු 11 කින් සමන්විතය.

ඊට අඩංගු වූ කරුණු මෙසේයි.

1. 1956 ජුනි 5 දා සිට සිංහලයන්, ද්‍රවිඩයන්ට පහර දීම.

2. 1958 මැයි මස සිට බෞද්ධ භීක්‍ෂූන් සහ සිංහල ජාතිවාදීන් ද්‍රවිඩයන් 300 ක්‌ මරා දැමීම, ද්‍රවිඩ කාන්තාවන් 200 ක්‌ අතවරවලට ලක්‌කිරීම

3. 1974 ජනවාරි මස යාපන අර්ධද්වීපයේදී පොලිස්‌ ප්‍රහාරයක්‌ එල්ලවීමෙන් ද්‍රවිඩයන් 9 ක්‌ මියයැම

4. 1977 අගෝස්‌තු 12 -20 අතර දී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්‍රහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති සිදුවීම්වලින් ද්‍රවිඩයන් 300 ක්‌ මියගොස්‌ 1000 ක්‌ තුවාල ලැබීය.

5. 1883 ජුලි කලබලය ද්‍රවිඩයන් 3000 ක්‌ මරා දමා ද්‍රවිඩ ස්‌ත්‍රීන් 500 කට අතවර කිරීම, ද්‍රවිඩ ව්‍යාපාරික ස්‌ථාන 5000 ක්‌ විනාශ කිරීම.

6. 2008-2009 වන්නි සංහාරය (වන්නි මෙහෙයුම)

7. පසුගිය වසර 27 තුළ ද්‍රවිඩයන් 100,000 ක්‌ මරුමුවට පත්වීම

8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්‍රවිඩයන් 33 සිට 116 දක්‌වා මරාදැමීම.

9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්‍රවිඩයන් 1000 බැගින් මැරීම.

10. වන්නියේ 146679 ක්‌ ආගිය අතක්‌ නැත.

11. චැනල්4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේගේ වාර්තාව – ද්‍රවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක්‌ මරාදැමීම.

12. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයට ඇති හිමිකම උල්ලංඝනය කිරීම.

අතිශයෝක්‌තියෙන් යුත් තොරතුරු ඇතුළත් කරමින් උතුරු පළාත් සභාව සම්මත කරගත් මෙම යෝජනාවෙන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙතින් ඉල්ලීමක්‌ කරමින් එකී යෝජනාව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා ඇත.

උතුරු `පළාත් සභාවේ මෙම ශ්‍රී ලංකා විරෝධී යෝජනාවේ මෙලෙස දක්‌වා තිබේ.

අද වන විටත් උතුරු නැගෙනහිර ද්‍රවිඩයන් තවදුරටත් ක්‍රියාත්මක වන සංහාරයට ගොදුරු වී ඇත.

උතුරු නැගෙනහිර සමහර ප්‍රදේශවල ද්‍රවිඩයන් තිදෙනකුට එක්‌ හමුදා සෙබළෙක්‌ බැගින් සිටී. උතුරු නැගෙනහිර ද්‍රවිඩයන් සමූල ඝාතන ක්‍රියාදාමයෙන් ආරක්‍ෂා කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

විවිධ ආණ්‌ඩු සමයේ විවිධ වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව තුළ සමූල ඝාතන සිදු වී ඇත. මේ පසුබිම මත ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව උදෙසා ස්‌වයංපාලනය අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සිදුවිය යුතුයි.

උතුරු පළාත් සභාවේ මේ යෝජනාව පිළිබඳව බටහිර මාධ්‍ය වාර්තා කළේ ද්‍රවිඩයන් සංහාරය කිරීම ගැන ද්‍රවිඩ ප්‍රාන්තය චෝදනා කරන බවයි.

මෙලෙස උතුරු පළාත් සභාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයන් ඉල්ලන යෝජනාව සම්මත කරගැනීමට පැය 24 කට පෙර රටින් පිටත ඊළම් රාජ්‍යය නැමැති සංවිධානයේ නායක රුද්රකුමාරන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත සන්දේශයක්‌ යවමින් යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ ජිනීවා වාර්තා මාර්තු 25 දා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇත.

රුද්රකුමාරන් යෑවූ සන්දේශයේ කොටස්‌ උතුරු පළාත් සභාව සම්මත කළ පිටු 11 ක යෝජනාවේ තෙවැනි පිටුවේද සඳහන් වී තිබේ. මින් සනාථ වන්නේ කොටි ඩයස්‌පෝරාවද උතුරු පළාත් සභා යෝජනාව පසුබිමේ සිටින බව නොවේද?

දෙමළ ජන සංහාරයන් ගැන අභූත චෝදනා නගන විග්නේශ්වරන් ප්‍රමුඛ උතුරු පළාත් සභාව කොටි සංවිධානය සිදු කළ කිසිදු අපරාධකාරී ක්‍රියාවක්‌ එකී යෝජනාවට ඇතුල් කර නැත. එසේම මේ යෝජනාවේ බියකරු පැත්ත නම් දිනපතාම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සමූල ඝාතනය වන බව ලෝක ප්‍රජාවට කියා සිටීමයි.

උතුරු පළාත් සභාව මෙම අන්තවාදී යෝජනාව සම්මත කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදයද එකී යෝජනාව මත කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

මින් පෙන්නුම් කරන්නේ සතුරන් එක්‌ වී ඇති බව නොවේද?

– කීර්ති වර්ණකුලසූරිය  දිවයින පුවත්පතට සැපයු ලිපියක් ඇසුරිනි.

WP2Social Auto Publish Powered By : XYZScripts.com