Japan-Prime-minister-Shinzo-in-Sri-Lanka-3 Visit_17

මහින්ද ලංකාව ලෝකෙට අරන් යනවද?
මව්බිම පුවත්පතින්

“මහින්ද ඇමෙරිකාවයි, බටහිර රටවලුයි ගණන් ගන්නේ නැතිව චීනය කරේ තියාගෙන ගිහිල්ලා ළඟදිම හොඳ පරිප්පුවක් කනවා. කොයි වෙලාවක හරි ඇමෙරිකාවයි බටහිර රටවලුයි එකතු වෙලා මහින්දට හොඳ පාඩමක් උගන්වනවා. එදාට මහින්දට ඇමෙරිකාවේ සහාය ගන්න අපේ කකුල් දෙක ළඟට එන්න වෙනවා.”

මේ යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාවයි, බටහිර රටවලුයි එකතු වෙලා මානව හිමිකම් චෝදනා ගෙනැවිත් ලංකාවේ බොටුව මිරිකන්න හදද්දි යූ.ඇන්.පී. මන්ත්‍රිවරු වේදිකාවක්-වේදිකාවක් ගාණේ කිය කියා ගිය කතාය.
යූ.ඇන්.පී.ය. එහෙම රටට කිව්වේ වෙන මොකවත් නිසා නොව යූ.ඇන්.පී.ය සමඟ හැමදාම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉන්නවා කියන එක රටට පෙන්වන්නටය. අපි බලයට ආවොත් බටහිරින් රටටම කිරි උතුරවලා දෙනවා කියලා පෙන්වන්නටය. මහින්ද ඉන්නකම් බටහිරින් තඹ ‍ෙදායිතුවක් ලැබෙන්නේ නෑ කියලා පෙන්වන්නටය.
මේ විදියට 77 බලයට ආපු ජේ.ආරුත් රටට පෙන්නුවේ තමන් ඇමෙරිකාව එක්ක කරට අතදාගෙන ඉන්නවා යැයි කියාය. ඇමෙරිකාව තමන්ගේ ගජ මිතුරා යැයි කියාය. මේ ගජමිතුරුකම කොච්චරද කියනවා නම් ඒ කාලේ විපක්‍ෂය විතරක් නෙවෙයි ජේ.ආර්.ගේ සමීප මිතුරන් පවා ජේ.ආර්.ව හැඳින්වූයේ “යැංකි ඩිකී” කියාය.

හැබැයි ජේ.ආර්. හා ඇමෙරිකාව අතර තිබුණු මේ ගජමිතුරුකමේ තරම පෙනුණේ 87දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කොට ජේ.ආර්.ගේ ඔළුවට පරිප්පු දමද්දීය. ඒ වේලාවේ ජේ.ආර්. ඉන්දියාවට ගහන්න ඇමෙරිකාවෙන් යුද ආධාර ඉල්ලුවාම අත දෙනවා වෙනුවට පස්ස හැරවූ මේ “ගජ මිතුරා” මේක ඉන්දියාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා ඉන්දියාව එක්ක කතා කර විසඳගන්න කියා ජේ.ආර්.ට කිව්වේය. ඉන්දියානු පරිප්පු නිසා ගහෙන් වැටුණු ජේ.ආර්.ට ගොනා ඇන්නේ ඇමෙරිකාව දුන් මේ උත්තරයෙන්ය. හතරගාතේ දා බිම ඇදවැටී සිටි ජේ.ආර්.ට ඒ මොහොතේ යාන්තම් හෝ පිහිටට ආවේ පාකිස්තානයත්, චීනයත්ය.
හැබැයි 87දී චීනය මේ විදියට ජේ.ආර්.ට මිත්‍රත්වයේ අත දිගු කළත්, ඒක හරියට මැනේජ් කරගන්න ජේ.ආර්.ට හැකියාවක් ලැබුණේ නැත. ජේ.ආර්.ට විතරක් නොව චීනය එක්ක ඒ කාලෙ ඉඳන්ම හිටපු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකටවත්, මැතිනියටවත්, චන්ද්‍රිකාටවත් හරියට චීනයෙන් යමක් කමක් කරගන්න ලැබුණේ නැත. චීන ආධාර යටතේ බී.එම්.අයි.සී.එච්. එක හදාගෙන යන්තම් හරි රටට වැඩක් කරගත්තේ ඒ අතරින් මැතිනිය පමණි.

හැබැයි මහින්ද ඒ අතින් ජේ.ආර්.ටත්, මැතිනියටත් වඩා ඉන්නේ ගව් ගණනක් ඉහළින්ය. බටහිර සරණං ගච්ඡාමි කියන්නේ නැතිව මහින්ද ඇනගන්නවා යැයි යූ.ඇන්.පී. පකීර්ලා පරසක්වළ ගහද්දී මහින්ද කීවේ චීනං සරණං ගච්ඡාමි යැයි කියාය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, නෙලුම් පොකුණ ඒ චීන සරණ යෑමේ ප්‍රතිඵලයන්ය. හෙක්ටයාර් 233ක් වූ මුහුද ගොඩකර අලුතින්ම හදන වරාය නගරය ඒ චීන සරණ යෑමේ තවත් ප්‍රතිඵලයකි.
“චීන සරණ ගිහිල්ලා මහින්ද ඉන්දියාව තරහ කරගන්නවා ෂුවර්. ඉන්දියාව විතරක් නෙවෙයි, චීනයේ ලොකුම හතුරා වෙච්ච ජපානයත් මහින්ද තරහ කරගන්නවා. අන්තිමට මහින්දට ඇමෙරිකාවයි බටහිරයි විතරක් නෙවෙයි, ඉන්දියාවයි, ජපානයයි දෙකත් නැතිව මැදමුලනට වෙලා තමයි ඉන්න වෙන්නේ.”

විදේශ ප්‍රතිපත්තිය කරේ තියාගෙන ඉන්න යූ.ඇන්.පී. පකීර්ලා එහෙමත් කීහ.
මහින්ද මැදමුලන තියරි එක ඉදිරියට දමා ඒ වැඩෙත් ෂේප් කරගත්තේ චීන ජනාධිපති ලංකාවට එන්න සතියකට කලින් ජපාන අගමැති ලංකාවට ගෙන්වාගෙනය. මේ ජපාන අගමැති හිස් අතින් ආවේ නැත. ආවේ සහන මල්ලකුත් රටට අරගෙනය. එහෙම ලැබුණේ වෙන මොකවත් නිසා නොව මහින්දගේ උපායශීලී විදේශ ප්‍රතිපත්තියේ පිහිට නිසාය.

වැඩිදුර යන්න ඕනෑ නැත. චීන ජනපතිගේ ලංකා සංචාරයේ අස්සන් තැබුණු ප්‍රකාශනය හරහා චීන ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය.
“ලංකාවේ ප්‍රශ්නවලට පිටරටවල් ඇඟිලි ගහනවාට අපි විරුද්ධයි”
මේ කතාවෙන් චීනය ඇමෙරිකාවට නොකියා කීවේ උඹලා මානව හිමිකම් ප්‍රශ්න, යුද අපරාධ චෝදනා මොනවා අල්ලාගෙන ලංකාවට ගහන්න හැදුවත් ලංකාව වෙනුවෙන් අපි ඉන්නවා යැයි කියාය.
දැන් ජපන් – චීන රාජ්‍ය නායකයන්ගෙන් පස්සේ ඊළඟට ලංකාවට එන්න ඉන්නේ අතිඋතුම් පාප් වහන්සේය. පාප් වහන්සේගේ ලංකා සංචාරය ගැන කතාබහ යද්දීත් විපක්‍ෂය ඒක දේශපාලන වාසියට හරවගෙන ඡන්ද කාලෙ කට ළඟ තියාගෙන උන්වහන්සේ ලංකාවට නොඑන බව කීවේය. උන්වහන්සේ නොඑන්නේ ආණ්ඩුවට විරෝධය දැක්වීමක් වශයෙන් යැයිද කීවේය.

හැබැයි පසුගිය සතියේ කාදිනල්තුමා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් උන්වහන්සේ පාප් වහන්සේගේ ලංකා ගමන තහවුරු කළේය. මාධ්‍යවල කුමන කතා පළ වුණත් පාප්වහන්සේ කලින් යොදාගත් පරිදි ලංකාවේ සංචාරය කරන බව කියා සිටියේය. ඒ අනුව සතියක් ඇතුළත ආසියාවේ බලවත්ම රාජ්‍ය නායකයන් දෙදෙනකු ලංකාවට ආවා මදිවාට පාප් වහන්සේත් ලබන ජනවාරි වනවිට ලංකාවට ගෙන්වා ගැනීමට මහින්ද සමත්ය.

ඒ කියන්නේ මහින්ද ලංකාව ලෝකයට අරගෙන යනවා කියන එකය. මෙච්චර කල් යූ.ඇන්.පී.ය ප්‍රමුඛ විපක්‍ෂය කිව්වේ මහින්ද ලංකාව ලෝකයේ හුදෙකලා රටක් කරනවා කියන එකය. ලංකාව ලෝකයේ සතුරකු කරනවා කියන එකය. හැබැයි සතියක් ඇතුළත වෙච්ච චීන, ජපන් නායකයන්ගේ ලංකාගමනයයි, ජනවාරියේ සිදුවීමට නියමිත පාප් වහන්සේගේ සංචාරයයි ඒ සියලු චෝදනා කණපිට හරවා අවසන්ය.
අනෙක චීන ජනාධිපතිවරයෙක් ලංකාවට ආවේ අවුරුදු 28කට පස්සේය. ජපාන අගමැතිවරයෙක් ලංකාවට ආවේ අවුරුදු 24කට පස්සේය. පාප් වහන්සේ නමක් ලංකාවට එන්නේ තෙවැනි වතාවටය. ඒ 1970 සහ 1995 වසරවලදී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය. මහින්ද ලංකාව ලෝකයට අරන් යනවා කියන එක ඒකෙන්ම පැහැදිලිය.

අනෙක ජපන්, චීන රාජ්‍ය නායකයන් ලංකාවට ආවේ උෟව ඡන්දය කට මුල තියාය. පාප් වහන්සේ ලංකාවට එන්නේ ජනාධිපතිවරණය පවත්වා ඒ උණුසුමත් එක්ක හෝ ජනාධිපතිවරණය පවත්වන්න ඔන්න මෙන්න තියාය.
පසුගිය දවස්වල විපක්‍ෂය මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය නිසා ලංකාව ලෝකයේ හුදෙකලා රටක් වන බවට කළ චෝදනාව ඉදිරි ඡන්දවලදී ගන්න මුවහත් කරමින් සිටියත් චීන, ජපන් රාජ්‍ය නායකයන්ගේ ලංකා ගමනත්, පාප් වහන්සේගේ ලංකා සංචාරයත් නිසා මහින්ද දැන් ඒ විපක්‍ෂයේ ආයුධය මොට්ට කරදමා අවසන්ය.
එතකොට උෟව ඡන්දයේදී විතරක් නොව ජනාධිපතිවරණයේදී පවා විපක්‍ෂයට වෙන්නේ ඒ මොට්ට ආයුධයෙන් කොස් කොට කොටා ඉන්නටය.

WP2Social Auto Publish Powered By : XYZScripts.com