ඓතිහාසික 2009 වර්ෂය උදාවූයේ පුරා දශක තුනක් තුන්හෙළය වසා පැතිර පැවැති ගනදුර පළවා හරින උදා ඉරක සම්ප්‍රාප්තිය අතදිග සීමාවට කැන්දවමිනි.  ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දුගේ රණකාමී දේශාභිමානී අපූරු ගීතය සවන්පත් වැටෙන සෑම මොහොතකම දෑසට කඳුලක් නැගෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ එකම ආත්මීය ප්‍රාර්ථනාව එය වූ නිසාය.

ජාතියේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩවසන දළදා මාලිගාවට පහරදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන මහමෙව්නාවේ සුදු වැලි මළුව රක්ත වර්ණ රුධිරයෙන් නහවන ලද වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඇතුළු නඩයේ අවසානය සනිටුහන් වූයේ  2009 මැයි මාසයේ 18 වැනිදාය. මව් ඇකයේ කිරි ‍පොවමින් සිටි ළඳරුවන් ගෙන ගහේ ගසා මරා දැමූවන්, පින්කමකට වැඩමකරමින් සිටි මහා සංඝරත්නය අරන්තලාවේදී කැති ගෑ අමනුෂ්‍ය කොටසක් ත්‍රස්තවාදී ලෙස හඳුන්වනු විනා වෙනත් නමකින් හැඳින්විය හැක්කේ කෙසේද?
ඊනියා ඊළමක් වෙනුවෙන් මිනිසුන් කැති ගෑ රුදුරු ත්‍රස්තවාදියෙකුගේ ඝාතන ලැයිස්තුව එතැනින් නිමාවට පත්වූයේ නැත. බුත්තලදී ක්‍ලේමෝ බෝම්බයකට හසුව මියගිය සිව්හැවිරිදි තම දරුවා හරහට වඩාගෙන තරුණ පියෙක් රාජ්‍ය නායකයාගෙන් (බුත්තල බෝම්බය පිපිරීගිය ස්ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
අමතමින්) අඬමින් ඉල්ලා සිටියේ “අනේ සර් මගේ පුතාට වගේ අනෙක් දරුවන්ට මෙහෙම මැරෙන්ඩ ඉඩ දෙන්න එපා” කියාය.
දෙනික රාජකාරි සඳහා පෙරවරුවේ නිවෙසින් බැහැරව කොළඹ බලා පිටත්වීමට සැරසෙන විට සිඟිති පුතා පෙරමගට විත් “තාත්තී අම්මි ගිහින් එන්න… තටා..” කියා දෙපා වඳිද්දී හදවතට දැනුණු වේදනාව දන්නේ දිනපතා කොළඹට රාජකාරි සඳහා පැමිණි අය පමණි. ඒ වෙන කුමක්වත් නිසා නොව ආපසු නිරුපද්‍රිතව දරුවා ළඟට පැමිණෙන්න හැකිවේද යන දැඩි අවිනිශ්චිතතාව නිසාය. බස් රථයෙත් දුම්රියෙත්, මහමගත් ත්‍රස්තවාදියා බෝම්බයත් සමග සැඟවී සිටියේය. බස් රථයේ දුම්රියේ රාක්කයේ ගමන්මල්ල තැබිය නොහැකිය. වාඩිවී සිටින මගියෙක් එය ලබාගන්නේ ද නැත. මරුවා කොයි මොහොතේ කොතැන සැඟවී ඇත්දැයි දැන සිටියේ වේලුපිල්‍ලේ ප්‍රභාකරන් හා ඔහුගේ සහචරයන් පමණි.
ජීවිතය පිළිබඳව බලා‍පොරොත්තු තබාගත නොහැකි පසුබිමක වෙනදා එකට රැකියාවට ගිය බිරිද සහ සැමියා යුද්ධයේ අවසන් සමයේ සේවා ස්ථානයට ගියේ වේලාවන් දෙකකදීය. සැමියා දුම්රියේ ගියොත් බිරිඳ යන්නේ බස් රථයේය. දෙදෙනාම දුම්රියේ ගියහොත් ඒ මැදිරි දෙකකය. ඒ අඩුම තරමේ තම දරුවන්ට මව හෝ පියා හෝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් නොමැරී ඉතිරිවිය යුතු නිසාය.
‍ලේ සුවඳට ඉව අල්ලමින් රුදුරු මිනිස් දඩයමේ යෙදුනු වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම මෙරට ජීවත් වූ සුවහසක් ජනී ජනයාගේ එකම ප්‍රාර්ථනාව වූ බව නොරහසකි (යුද්ධය විකුණා කමින් එය බඩගෝස්තරය කරගනිමින් බටහිර රටවල ජීවත් වූ ඊනියා ශ්‍රී ලාංකීය කොටසක් ද සිටි බව හා සිටින බවද සටහන් කළ යුතුය)
දශක තුනක් පුරාවට මේ රටේ ජනතාවටත් ආර්ථිකයටත් හිස එසවීමට නොදුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම කෙසේ වෙතත් ඊට විසඳුම් සෙවීමට බලයට පත් වූ විවිධ රජයන් පියවර ගනු ලැබිය. නමුත් එය ත්‍රස්තවාදය ලෙස හඳුනා නොගැනීමත් එය මුලිනුපුටා දැමීමට තරම් එඩිතර තීරණයක් ගැනීමට ශක්තියක් නොතිබුණු නිසාත් වේලුපිල්‍ලේ ප්‍රභාකරන් දිනෙන් දිනම ශක්තිමත් වූවා මිස පසුබෑමකට ලක් වුයේ නැත. වර්ෂ 2005 වන විට ප්‍රභාකරන් සතුව ගුවන් යානා, සබ්මැරීන්, රසායනික අවි, මිසයිල සහිත ශක්තිමත් ත්‍රස්ත හමුදාවක් ගොඩනගාගෙන තිබුණි. ජාත්‍යන්තර සබඳතා ද ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සමත්වීමත් සමග කොටි සංවිධානය ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කරනු ලැබිය. එය ඇමෙරිකා එක්සත් ජනපදය හා එංගලන්තය එක්ව සැමදා යුද වදින ‘තලෙයිබාන්’ සංවිධානයට ද වඩා බලගතු බව ජාත්‍යන්තරය විසින්
පිළිගනු ලැබ තිබිණි.
වර්ෂ 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජයත් වෙනත් ආණ්ඩු මෙන්ම කොටි සංවිධානය සමග සාම සම්මුතියකට එළැඹ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට උත්සාහ කරනු ලැබිය. එහෙත් සාමයට දිගුකළ අත සපාකමින් මාවිල් ආරු සොරොව්ව වසා දමමින් කුඹුරු අක්කර දහස් ගණනකට ජල සැපයුම් මාර්ග අවහිර කිරීමට කොටි සංවිධානය කටයුතු කරනු ලැබිය.
අවස්ථා ගණනාවකදී හොඳින් කීවද මාවිල් ආරුව නිදහස් නොකළ තැන සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදීන්ට තේරෙන භාෂාවෙන් කතා කිරීමට දන්නා ආරක්ෂක ‍ලේකම්වරයකු මුලින්ම පත්කරගනු ලැබිය. අනතුරුව ඔහු යටතේ මාවිල් ආරු සොරොව්ව මුදාගැනීම සඳහා මානුෂික මෙහෙයුමක් අරඹා ජයග්‍රහණය තෙක් ගෙනයාමට හැකියාවක් ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් තෝරාගත්තේය. මානුෂික මෙහෙයුමට සියල්ල සූදානම්ය. ආරක්ෂක හමුදා සීරුවෙන්ය. මීට පෙර පැවැති රජයන් යටතේ ද අනන්ත අප්‍රමාණ හමුදා මෙහෙයුම් සිදු වුණේය. නමුත් එම මෙහෙයුම් සහ මාවිල් ආරු මෙහෙයුම අතර විශාල වෙනසක් පැවැතුණි. මෙහෙයුම ආරම්භ වූයේ අතරමග නවතා දැමීමට නොවේය. හමුදාවේ චිත්ත ධෛර්ය වැඩිකිරීමට සියලුම පියවර ගනු ලැබිය. මෙහෙයුමක් සමග ජනතාවද යුද්ධයත් සමග ඒකාබද්ධ කරනු ලැබිය. දිනපතා රාත්‍රී රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශනයෙන් කොටින්ගෙන් මුදාගනු ලබන හා කොටි පාලනය සතුව තිබෙන ප්‍රදේශයන් පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබිය. යුද සෙබළා රණවිරුවා බවට පත්විය.
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ජනතාව ආත්මීය වශයෙන් ත්‍රිවිධ හමුදාවත් සමග ඒකාබද්ධ වුණේ 4 වෙනි ඊළාම් යුද්ධය ප්‍රකාශයට පත්වීමත් සමගිනි. එය ජයග්‍රහණයෙන් මෙපිට නොනවත්වන බවට දේශපාලන අධිකාරියෙන් ලැබුණු සහතිකය ආරක්ෂක හමුදාවට මතුකොට ජනතාවටද ශක්තියක් විය. ජන මාධ්‍යවේදීන් පළමු වරට සටන් පවත්නා භූමියේ සිට ජනතාවට සත්‍ය තොරතුරු සම්පාදනය කරනු ලැබිය. නැගෙනහිර ප්‍රදේශයේ තොප්පිගල ඇල්ලීම සිහිනයකැයි වහසි බස් දෙඩුවන්ට ආරක්ෂක
අංශ ලබාදුන් පිළිතුර වුයේ තොප්පිගල මතු නොව සමස්ත නැගෙනහිරම මුදාගෙන ඊළාම් ධජය වෙනුවට සිංහ ධජය එසවීමය.
රජය හා ආරක්ෂක
හමුදා උතුරු ප්‍රදේශය මුදාගැනීමට සැලසුම් කරනු ලැබුවේ ක්‍රමානුකූලවය. එහිදී ජාත්‍යන්තරයෙන් එල්ල වෙන අභියෝග කළමනාකරණය කරගැනීමේ වගකීම ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පැවැරී තිබුණි. ත්‍රිවිධ හමුදාවන් හා සිවිල්
ආරක්ෂක බළකාය මෙහෙයවමින් යුද්ධයට අවශ්‍ය සකලවිධ ශක්තිය හා සානුබලයන් සැපයීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශය යටතට පැවරී තිබුණි. එම වගකීම් අකුරටම ඉටුවීමත් සමගම
ආරක්ෂක අංශ දැඩි චිත්ත ධෛර්යකින් යුතුව පෙරමුණු ගණනාවකින් සිය ඉලක්ක කරා ඉදිරියට ඇදුණේය. ජනයා ද මේ සියල්ල රූපවාහිනියෙන් බලාසිටියේය. ආරක්ෂක හමුදා අත්පත්කරගත්ත ප්‍රදේශ ලංකා සිතියමක ආධාරයෙන් ජනතාවට දිනපතා පෙන්වනු ලැබිය.
දිනෙන් දින අහිමි වී ගිය තම සිහින ඊළාම් රාජ්‍යයේ බල ප්‍රදේශයන් ගැන තැවුණු කොටි නායකයා වැඩි වැඩියෙන් දකුණේ් ආර්ථිකය හා ජනතාව අපහසුතාවයට පත්කරවන ආකාරයේ ප්‍රහාර සැලසුම් කරනු ලැබුවේ තම සංවිධානයේ ‘මොරාල්’ එක රඳවාගනු  පිණිසය. ප්‍රභාකරන් සතුව තිබු සැහැල්ලු ගුවන් යානා උපයෝගි කර ගනිමින් කොළඹට හා කටුනායකට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරනු ලැබිය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිනපතා බෝම්බ පිපිරවීමට හා මරාගෙන මැරෙන කොටින් යොදවා ඝාතන ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබිය. එහෙත් ආරක්ෂක හමුදා නොසැලී උතුර මුදාගැනීමේ මෙහෙයුම් ඉදිරියට ගෙන ගියේය. ජනතාව සියලුම අපහසුතා විඳදරා ගනිමින් මෙහි අවසානයක් උදාවන තෙක් බලා සිටියේ ආරක්ෂක හමුදා දිරිමත් කරමින්ය.
කොටින්ගේ මහ බලකොටු හා අගනගර ලෙස සලකුණු ලැබූ කිලිනොච්චි, මුලතිව් අහිමිව වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් වෙල්ලවයික්කාල්මුල්ල වැනි ප්‍රදේශයකට සීමා විය. 2009 වර්ෂයේ මැයි මාසය උදා වුයේ අලුත් ඉරක් පායා ඒම පිළිබඳ බලා‍පොරොත්තුව අත දිග සීමාවට කැන්දවමිනි. වර්ග සැතපුම් කිහිපයකට කොටුවූ ප්‍රභාකරන් ඇතුළු ඉහළම පෙළේ කොටි නායකයින් මුදාගෙන විදේශ රටකට ගෙනයාමට කේ.පී. ප්‍රමුඛ ජාත්‍යන්තර කොටි ජාලය නොගත් උත්සාහයක් නොමැත. ඔහු ඇමරිකාවෙන්, කැනඩාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, නෝර්වේ රාජ්‍යයෙන්, ස්විට්සර්ලන්තයෙන් ආධාර පැතීය.
යුද්ධය අතහැර වහාම සාම සාකච්ඡා මේසයට වාඩි වන ලෙස ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ වැනි රාජ්‍යයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස බලපෑම් කරනු ලැබිය. ජනාධිපතිවරයා හමුවීමට විදේශ දූත කණ්ඩායමක් කොළඹට පැමිණි අතර ඔවුනට ජනාධිපතිවරයා මුණගැසීමට හැකිවූයේ ඇඹිලිපිටියේදීය. ඒ උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලෙස නොව එළිමහනේ තැබූ පුටු කිහිපයක වාඩිවන ලෙස දක්වමිනි. එහිදී ජනාධිපතිවරයා විදේශ නියෝජිතයන් සමග කතාව ආරම්භ කොට ඇත්තේ ‘යුද්ධය නවත්වන්න කියන්නේ නැතිව වෙන ඕන දෙයක් කතා කරමු’ කියාය.
බලා‍පොරොත්තු බිඳ වැටුණු බටහිර ඒජන්තයන්ට ලොව භයානකම ත්‍රස්තවාදී නායකයා බේරාගැනීමට නොහැකි විය. 2009 මැයි මාසයේ 18 හා 19 දෙදින දේශප්‍රේමී ශ්‍රී ලාංකේය ජනතාවට කිසි දිනක අමතක නොවන දින දෙකක් වන බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
තිස් වසරක් මේ රටේ මතුනොව විදේශ රටවල නායකයින් (ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි) පවා ඝාතනය කරමින් රටේ අනාගතයට හා සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් වූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ සියලුම කොටි නායකයින් නන්දිකඩාල් කළපුව ප්‍රදේශයට කොටු වූයේය. ආරක්ෂක හමුදා එල්ල කරනු ලැබූ දැවැන්ත ප්‍රහාරයෙන් කොටි නායක ප්‍රභාකරන් මුහුදු කොටි නායක සුසෙයි, කොටි ‍පොලිස්පති නඩේසන් ඇතුළු කොටි නායකයින් 170ක් පමණ මරා දැමීමට මැයි 18 වෙනිදා (2009) ආරක්ෂක හමුදාවෝ සමත්වූහ. කොටි සංවිධානයේ පළමු පෙළ, දෙවන පෙළ හා තුන්වෙනි පෙළ යන සියලු අංශයන් නියෝජනය කළ නායකයින් එකවර විනාශ කර දැමීමට සමත්වීම යුද ඉතිහාසයේ නොමැකෙන සටහනකි. ත්‍රස්තවාදී සංවිධානයක සියලු නායකයින් එකවර විනාශ කොට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ලොව එකම රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වී අනිද්දාට (18) වසර 5කි.
2009 මැයි 18 වෙනිදා යුද්ධය අවසන් කළ බව
ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් ජනාධිපතිරයා හමුවේ නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබිය. එහෙත් කේ.පී. ප්‍රමුඛ කොටි ජාත්‍යන්තරය තම අන්තර්ජාලයන් භාවිතයට ගනිමින් ලොව පුරා ප්‍රචාරය කරනු ලැබුවේ ප්‍රභාකරන් මියනොගිය බවත් ඔහු ජීවතුන් අතර සිටින බවත්ය. එහෙත් මැයි 19 වැනිදා පෙරවරු 10.05ට පමණ තිස් වසරක් පුරාවට ජාති ආගම් භේදයෙන් තොරව ජනතාවට සිනහව වෙනුවට කඳුළ හා වෙඩි උණ්ඩය උරුම කරදුන් ලොව භයානකම ත්‍රස්ත නායකයාගේ මළ සිරුර ආරක්ෂක හමුදා විසින් සොයාගනු ලැබිය. එම අවස්ථාව රූපවාහිනී නාලිකා තුළින් සජීවීව නැරඹීමටමේ රටේ ජනතාවට අවස්ථාව සැලසුනි. එය ප්‍රභාකරන්ගේම මළ සිරුර බව කලක් ඔහු සමග සමීපව කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් (අද නියෝජ්‍ය අමාත්‍ය) විසින් තහවුරු කරනු ලැබිය.
තිස් වසරක යුද්ධයෙන් ජනතාව මොන තරම් පීඩනයකට පත්ව සිටියාද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එය සජීවීව තහවුරු වූයේ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර දැකීමත් සමගිනි. ජාති ආගම් භේදයෙන් තොරව ජනයා පාරට බැස ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමේ ජය සමරනු ලැබිය. ජාතික කොඩිය අභිමානයෙන් යුතුව අහසට එසවිනි. ජාතික කොඩිය අතින් ගත් බාල මහලු තරුණ පිරිස් එකිනෙකා වැළඳගනිමින් වීදි ඔස්සේ දිවගියේය. එහි කිසිදු ජාතිවාදයක් තිබුණේ නැත. ජයග්‍රහණය තමන් සතුකරගැනීමට සිංහලයෝ කටයුතු නොකළහ. සිංහලයින්, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැ‍ලේ සහෝදරයින් සමග කිරිබත් උයා එකට අනුභව කළහ. මෙය ජාතියකට එරෙහිව තවත් ජාතියක් විසින් ගෙනගිය සටනක් නොව ජීවත්වීම වෙනුවෙන් ත්‍රස්තවාදයට එරෙහි ගෙන ගිය මානුෂීය මෙහෙයුමක් බව ශ්‍රී ලාංකිකයෝ ලෝකයටම පෙන්වූහ.

ලක්බිම පුවත් පතිනි.

WP2Social Auto Publish Powered By : XYZScripts.com